මගේ පොතේ වැරදි දැම්මේ කව්ද

හිතුවක්කාර සුළඟ එහාට මෙහාට නලියයි. අකීකරැ සාරි පොට මට කලින් ගමනේ යයි. ඉර එළියට ඔට්ටු වෙන ගහ කොළ කහ පැහැති වී ඇති හැටි දුක්මුුසුය. ඇහිපිල්ලමක් ගහන තප්පරෙට ශරීරයේ වෙහෙස උඩු දුවයි. ඓතිහාසික සංඛපාල වෙහෙර පිහිටි ගල් කඳු මුඳුන ඈතින් පෙනෙන මානයෙ ඉසව්වක පුංචි පාසලක දෙකෙ පන්තියේ ගුරැ පුටුවට ඇන තියාගෙන පොඩි උන්ගෙ ක්‍රියාකාරකම් දෙස බලා උන්නෙමි. පරඩැල් වු ජිවිත වලට පණ දෙන්නට පොඩි එකෙක් ගෙ එක හිනාවක් ඇතිය. අව්වටම කළු ගැසුණු මුහුණු වලද බලාපොරොත්තුවේ සේයාවන් ඇත. බරටම වැඩ කරන පොඩි උන් අතර එක් දැරියක් අනිකා සමඟ පොර අල්ලයි. මා පංතිය තුළ සිටින වගක් වත් ඇයට අදාළ නැත. කලහකාරි හැසිරිම අනෙක් දරැවා වෙත ඉසිලිය නොහැකි බව දැනුන හෙයින් මම ඇයව මගේ ළඟට ගෙන්වා ගතිමි. "දුව ඔයා ටීචගේ මේසෙ උඩ පොත තියාගෙන ලියන්කෝ " ඇය කිසිත් කීවේ නැත. ඒ වෙනුවට පුංචිකමට නොවු රැවිල්ලක් මා වෙත තිලිණ කර ඕනෑවට එපාවට වාක්‍ය ලියන්ට පටන් ගත්තාය. හිතුවක්කාරකමෙත් සීමාවක් ඇයට නැති හැඩය. මුහුණ පුරා සීරැණු පැල්ලම්ය. දුවිලි පිරැණ අත පය පුරා කැළල්ය. සාමාන්‍ය ගැහැණු දරැවෙකුට වඩා ඇය දඟ බවට සාක්ෂිය ඇයම විය. " හරි දඟයි නේද ඔයා" " මොකටද අහන්නෙ" දුන් පිළිතුරෙන් මගෙ කට වහන්නට ඇය සමත් වුවාය. මම මටම සිනාසුනෙමි. පොඩි දරැවෙකුට මම බිය වූ බව මට දැනෙන්නට විය. " කෝ ඔයා ලියලා ඉවර නම් දෙන්න බලන්න" සන්සුන් වන්නට තතනමින් මම දැරියට අත පෑවෙමි.අපරක්ෂාකාරි ලෙස භාවිත කළ සලකුණු සහිත පොත ඇය මා වෙත පෑවාය.. ඇයගෙ නොසන්සුන්කම පොත තුළද විය. ලියු වාක්‍ය වල වැරදි තැන් බොහෝය. මම වැරදි තැන් සළකුණු කළෙමි. ඒ සැණින් ඇය මගෙන් පොත උදුරා ගත්තාය. "ඒයි..... කව්ද කිව්වෙ මගෙ පොතේ වැරදි දාන්න" පසු සටහන ගුරැ සිතක මතක අතර ලියැවෙන මේ කතා සත්‍ය සිදුවීම්ය.මේ කතාවට අදාළ දැරිය පැවසු වචනය ප්‍රසිද්ධ මාධ්‍යයක භාවිතා කළ නොහැකි තරම් අශෝබනය. අශිෂ්ඨය. පසුව ඇගෙ පන්ති භාර ගුරැවරයාගෙන් දැනගත් පරිදි ඇයගෙ පියා කසිප්පු ව්‍යාපාරිකයෙක් වන අතර නිවසේ කතා කරන භාෂාවන් හා හැසීරීම් රටා මේ දියණියගේ පෞරැෂත්වය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කර ඇත. දෙමාපියනි, විමසිලිමත් වන්න. දරැවන්ගෙ ප්‍රධාන ආදර්ශනය ඔබය
- නිනි සෙනෙවිරත්න -